hit counter

2024 දෙසැම්‍බර් මස 20 වන සිකුරාදා

2022 අප්‍රේල් 14, පෙ.ව. 9:10



මෙරට දරුවන් සඳහා කිරි සහ ආහාර ලබා දීමට භාවිත කරන බෝතල් හා බඳුන්වල මෙන්ම තවත් භාණ්ඩවල “බිස්ෆීනෝල් ඒ” (Bisphenol A) හෙවත් BPA නමැති රසායනිකය අත්තර්ගත බවට අනාවරණය වී ඇතැයි පරිසර යුක්ති කේන්ද්‍රය පවසනවා.

BPA යනු පිළිකා කාරකයක් බව පෙන්වා දෙන පරිසර යුක්ති කේන්ද්‍රය වැඩිදුරටත් පවසන්නේ එම රසායනිකය ශරීරගත වීම හරහා පිළිකාවලට අමතරව තවත් සෞඛ්‍ය ගැටළු රැසක් හටගත හැකි බව යි.

මෙය අනාවරණය වී ඇත්තේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 08ක (ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, චීනය, භූතානය, මැලේසියාව, ඉන්දුනීසියාව, රුසියාව සහ ටැන්සානියාව) සිදු කළ පරීක්ෂණ හරහා යි.

එම රටවල්වල ළදරු ආහාර බඳුන් නියැදි ලෙස යොදාගෙන යි මෙම පරීක්ෂණ සිදු කර ඇත්තේ.

අදාළ නියැදි චෙකෝස්ලෝවේකියාවේ මෙන්ම ඉන්දියාවේ රසායනාගාර තුළ පරීක්ෂාවට ලක් කොට ඇති බව පරිසර යුක්ති කේන්ද්‍රය සඳහන් කරනවා.

මෙම පර්යේෂණය සදහා මෙරටින් ලබාගෙන ඇති නියැදි ප්‍රමාණය 10ක්.

ඒවායින් නියැදි 03ක් තුළම BPA අන්තර්ගත බවට තහවුරු වී තිබෙනවා.

එමෙන්ම එම නියැදි තුනෙන් එකක ලේබලයේ BPA අඩංගු නොමැති බවට මුද්‍රණය කර තිබීම ද විශේෂත්වයක්.

මේ සම්බන්ධයෙන් ඒෂියන් මිරර් වෙත අදහස් දැක්වූ පරිසර යුක්ති කේන්ද්‍රෙය් ව්‍යාපෘති සැළසුම් සහ කළමනාකරණ නිලධාරිනී චලනි රූබසිංහ මහත්මිය මෙලෙස පැවසුවා.

“අප විසින් ලබා ගන්නා ලද ඇතැම් සාම්පල වල බිස්ෆීනෝල් ඒ රසායණික ද්‍රව්‍ය නොමැති බව සදහන් වී තිබුණා. සත්‍ය ලෙසම දෙමව්පියන් තමන්ගේ දරුවන්ට යහපත් දේ ලබා දීමට සුදානම් වුනත් ඇතැම් ව්‍යාපාරික ආයතන ඔවුන් නොමග යවා ඇති බව මෙහිදී අපට තේරුම් ගැනීමට හැකි වුණා. මෙම තත්ත්වය නිසා මෙවැනි අන්තරාදායක රසායනික ලේබල්කරනය සම්බන්ධයෙන් ශක්තිමත් නීති පැනවිය යුතුවනවා මෙන්ම, එම නීති නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ ද යන්න අධීක්ෂණයක් ද සිදු කළ යුතු වනවා”

මේ අතර BPA රසායනිකය ළදරු භාණ්ඩ තුළ පමණක් නොව වෙනත් නිෂ්පාදන තුළ ද අන්තර්ගත විය හැකි බවට ද පරිසර යුක්ති කේන්ද්‍රය ප්‍රකාශ කරනවා.

විශේෂයෙන් BPA අඩංගු ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණය කොට නිෂ්පාදනය කෙරෙන වෙනත් භාණ්ඩ තුළ ද මෙම රසායනිකය පැවැතිය හැකි බව යි එම ආයතනය පෙන්වා දෙන්නේ.

මෙනිසා BPA අඩංගු සියළු නිෂ්පාදන වහාම තහනම් කිරීමටත්, ඒ සම්බන්ධ නීති දැඩි කිරීමටත් යෝජනා කරන පරිසර යුක්ති කේන්ද්‍රය අවධාරණය කරන්නේ BPA අඩංගු නිෂ්පාදන මෙරටට ගෙන්වීම වැළැක්වීමට පියවර ගැනීමත්, එම නිෂ්පාදන සඳහා විකල්ප හඳුන්වා දීමත් සිදු කළ යුතු බවට යි.

BPA යනු අන්තරායකර රසායනිකයක් ලෙස රටවල් බොහොමයක් නීත්‍යානුකූලව පිළිගෙන තිබෙනවා.

එමෙන්ම යුරෝපා සංගමයේ රටවල් පිළිගෙන ඇත්තේ මෙය හෝමෝන ක්‍රියාවලියට බාධා ඇතිකරවන රසායනිකයක් ලෙසට යි.

එබැවින් BPA රාසායනිකය ළදරු දියර බෝතල් නිෂ්පාදනයේ දී භාවිතය තහනම් කිරීමට යුරෝපා සංගමය ක්‍රියා කර ඇති අතර කැනඩාව ද එම තහනම සිය රට තුළ ක්‍රියාත්මක කර තිබෙනවා.

අමෙරිකා එක්සත් ජනපදයේ FDA ආයතනය (ආහාර හා ඖෂධ පාලන ආයතනය) ද 2008 වසරේ පමණ සිට ළදරු බෝතල් සහ ආහාර බඳුන් සඳහා BPA භාවිතයට අවසර ලබා නොදීමටයි තීරණය කර ඇත්තේ.

මේ අතර ඉහත පැවසුව පරිදි පිළිකා සහ අනෙකුත් රෝග BPA හේතුවෙන් වැළඳීමට ඉඩ තිබෙනවා මෙන්ම, යුරෝපීය ආහාර ආරක්ෂණ අධිකාරිය පවසන්නේ මෙම රසායනිකය නිසා අහිතකර ප්‍රතිඵල ඕනෑම වයසක අයෙකුට බලපෑම් කර හැකි බව යි.

මව්කුස තුළ සිටින කළලයකට පවා මින් හානිදායක ප්‍රතිඵල ඇතිකරලිය හැකි බවට යි එම අධිකාරිය පෙන්වා දෙන්නේ.

BPA රසායනිකය ශරීරගත වීමෙන් පිළිකා මෙන්න මඳසරුභාවය, ප්‍රජනක පද්ධතියේ අක්‍රමිකතා, ලිංගික දුබලතා සහ දියවැඩියාව වැනි තත්ත්ව හටගත හැකි අතර තයිරොයිඩ් ග්‍රන්ථියේ රෝග, ස්නායු දුබලතා, ඇදුම වැනි රෝගී තත්ත්ව හටගත හැකි බවට මේවන විට අනාවරණය වී තිබෙනවා.

එමෙන්ම කාන්තාවන්ගේ පියයුරු ආශ්‍රිත පිළිකා ඇතිවීමේ අවදානම මෙම රසායනිකය හරහා ඉහළ යා හැකි බවට ද තොරතුරු අනාවරණය වී ඇති බව යි වාර්තා වන්නේ.

මේ අතර ප්‍රංශය විසින් ප්‍රසිද්ධ කළ පර්යේෂණ වාර්තාවකට අනුව 2015 වසරේ ලොව තුළ නිෂ්පාදනය කර ඇති BPA ප්‍රමාණය ටොන් මිලියන 4ක් වනවා.

ළදරු ආහාර බඳුන්වල පමණක් නොව මෙම රසායනිකය ළදරු සෙල්ලම්බඩු, පානීය ජල බෝතල්, ආහාර ටින්, ආදිය සඳහා ද භාවිත කෙරෙනවා.