hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 අප්‍රේල් 28, පෙ.ව. 10:11



මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධුරයෙන් වහාම ඉල්ලා අස්වන ලෙස ආණ්ඩුවේම ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම් ඉල්ලා සිටිනවා.

ඒ පවතින අර්බුදයට විසඳුම් සෙවීම සඳහා නව අගමැතිවරයෙකු යටතේ අන්තර් වාර පාලනයක් ගොඩ නැගීම සඳහායි.

රාජ්‍ය අමාත්‍යවරයාගේ හෙලිදරව්ව

ඒ සමඟම අග්‍රාමාත්‍යවරයා එසේ ඉල්ලා අස් නොවිය යුතු බවට ආණ්ඩුවේම තවත් මන්ත්‍රී කණ්ඩායමක් ඉල්ලීමක් කරනවා.

ඒ සඳහා ආණ්ඩුව සමඟ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 157 දෙනාගෙන් 124 දෙනකුම අත්සන් තබා ඇති බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතා හෙළිදරව් කරනවා.

ඔහු වැඩි දුරටත් සඳහන් ඒ අත්සන් ලේඛණය තමන් තමන්ගේ ඇස් දෙකෙන්ම දුටු බවයි.

දෙපැත්තටම අත්සන් තැබීම

දෙපැත්තටම අත්සන් කර ඇති ඉන්නවාදැයි තමන් නොදන්නා බව අවධාරණය කරන ඔහු පුත්තලම් දිස්ත්‍රික්කයේ ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරු 6 දෙනාගෙන් 5 දෙනකු ඊට අත්සන් තබා ඇති බව අනාවරණය කරනවා.

එසේ අත්සන් තබා නැත්තේ ප්‍රියංකර ජයරත්න මහතා බවයි ඔහු පෙන්වා දෙන්නේ.

සනත් නිශාන්ත මහතා නියෝජනය කරන්නේ පුත්තලම් දිස්ත්‍රික්කය.

මන්ත්‍රීවරු 120 කගේ විරෝධය

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් නොවන්නේ ආණ්ඩුවට එරෙහිව ගෙනෙන විශ්වාසභංගයට සහය පළ කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 120 කගේ සහාය තිබෙන බව මීට ටික දිනකට පෙර උදය ගම්මන්පිල මහතා මාධ්‍ය හමුවක් තබමින් ප්‍රකාශ කළා.

සනත් නිශාන්ත පෙරේරා රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රතිචාර දැක් වූයේ එම ප්‍රකාශයටයි.

තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් නොවන බවත් තමන්ට එම ධූරයෙන් ඉල්ලා අස් වන ලෙස ජනපතිවරයා ඉල්ලීමක් නොකළ බවත් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රසිද්ධියේම ප්‍රකාශ කොට තිබෙනවා.