hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 අප්‍රේල් 26, ප.ව. 5:13



අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය නිකුත් කොට තිබෙනවා.

ඉන් ප්‍රකාශ වන්නේ අග්‍රාමාත්‍යවරයා එම ධූරයෙන් ඉල්ලා අස් නොවන බවයි.

බිම් මට්ටමේ සාකච්ඡාව

අග්‍රාමාත්‍යවරයා සහ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත පොදු ජන පෙරමුණ පළාත් සභා මන්ත්‍රී සංසදය සමග පැවැත් වූ සාකච්ඡාවකින් පසුවයි.

එහිදී මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් නොවන ලෙසට එම සංසදයේ මන්ත්‍රීවරුන් ඉල්ලීමක් කළ බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

එනිසා තමන් බිම් මට්ටමේ ඉල්ලීමට කන්දී තවදුරටත් අග්‍රාමාත්‍ය ධූරයේ කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරයා විසින් ජනපතිවරයා වෙත දැනුම් දී ඇති බවත් දැනගන්නට තිබෙනවා.

අර්බූදයට කඩිනමින් විසඳුම්

පවතින ආර්ථික ප්‍රශ්නය ඉතා කෙටි කලක් තුළ විසඳීමට හැකියාව ඇති බවට තමාට විශ්වාසයක් තිබෙන බවත් ඒ සඳහා අවශ්‍ය වැඩ පිළිවෙල මේ වන විටත් ක්‍රියාත්මක කොට තිබෙන බවද අග්‍රාමාත්‍යවරයා එම සංසදයේ සාමාජිකයන් අමතා ප්‍රකාශ කොට තිබෙන බව වාර්තා වනවා.

පවතින අර්බුදයට විසඳුම් සෙවීම සඳහා රාජපක්ෂවරු නොවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු අගමැති ධුරයේ පිහිටුවා අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා යෝජනාවක් ආණ්ඩුවේම ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම් වෙතින් ඉදිරිපත් වී තිබෙනවා.

ඒ සඳහා මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසටයි එම මන්ත්‍රීවරුන් ඉල්ලීම් කරන්නේ.

එසේ ඉල්ලා අස් නොවන්නේ නම් ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනැවිත් ඒ හරහා අග්‍රාමාත්‍යවරයා එම ධූරයෙන් ඉවත් කරන බවට එම මන්ත්‍රී කණ්ඩායම මේ වන විටත් ප්‍රකාශ කොට අවසන්.