hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 අප්‍රේල් 27, පෙ.ව. 2:27



ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයට සහය දීම සඳහා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 120 කගේ සහාය තිබෙන බව උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කොට තිබෙනවා.

ගම්මන්පිල මහතා සඳහන් කරන ගණන් හිලව් ගැන ජනතා විමුක්ති පෙරමුණ සිය මතය ප්‍රකාශ කරනවා.

සහතිකයක් දීම

ඒ එම පක්ෂයේ නායක අඳුරු කුමාර දිසානායක මහතා විසින්.

ජාතික ජන බලවේගයේද නායකයා වන ඔහු සඳහන් කරන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරන තම මන්ත්‍රීවරු තිදෙනා පිළිබඳව පමණක් තමන්ට සහතිකයක් දිය හැකි බවයි.

ජාතික ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරු තිදෙනා විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දෙන බව ඔහු සඳහන් කරනවා.

අනුර කුමාර දිසානායක මහතා සමඟ විජිත හේරත් මහතා සහ ආචාර්ය හරිනි අමරසූරිය ජාතික ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වනවා.

අනිකුත් මන්ත්‍රීවරු

එහෙත් විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දෙන බව ප්‍රකාශ කොට තිබෙන අන් මන්ත්‍රීවරු සම්බන්ධයෙන් විශ්වාසයක් තැබිය නොහැකි බවයි ජ.වි.පෙ නායකයා පෙන්වා දෙන්නේ.

එක පක්ෂයකින් පාර්ලිමේන්තුවට තේරී පත්වී තව පක්ෂයකට යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳව විශ්වාසය තැබිය නොහැකි බව ඔහු අවධාරණය කරන්නේ ඒ සම්බන්ධයෙන් ජනතාව දරන මතයද මතක් කර දෙමින්.

මහජනතාව තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිළිබඳව විශ්වාසය නැති වී තිබෙන බවත් ඊට හේතුව බොහෝ මන්ත්‍රීවරු අද එක පක්ෂයකත් හෙට තව පක්ෂයකත් සිටීම නිසා බවයි ජ.වි.පෙ නායකයා අවධාරණය කරන්නේ.

එනිසා විශ්වාසභංග යෝජනාවට පක්ෂව මන්ත්‍රිවරු 120 ක් සිටින බව ප්‍රකාශ වුවත් අවසාන මොහොතේ එය වෙනස් විය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.