hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 මැයි 28, පෙ.ව. 5:28



හිටපු අමාත්‍ය විමල් වීරංශ මහතාගේ බිරිද වන ශෂී වීරවංශ මහත්මියට බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඩුවමක් නියම කර තිබෙනවා.

ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා විසින්.

ඒ ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම හේතුවෙන්.

එම සිරදඩුවමට අමතරව රුපියල් ලක්ෂයක දඩයක් ද අධිකරණය විසින් නියම කර තිබෙනවා.

එය නොගෙවන්නේ නම් මාස 06 ක තවත් සිර දඩුවමක් නියම කරන බවට මහේස්ත්‍රාත්වරයා දන්වා තිබෙනවා.

කෙසේ වෙතත්, අදාළ තීන්දුවට එරෙහිව විත්තියේ නීතිඥවරුන් මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළ අතර, එහි තීන්දුව ලැබෙන තෙක් විත්තිකාරිය ඇප මත මුදාහරින ලෙසද මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

ඒ අනුව, විත්තිකාර ශෂී වීරවංශ මහත්මියගේ ඇප ඉල්ලීම ලබන 30 වැනිදා කැඳවන තෙක් ඇය රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාවට අදාළව හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන උදයන්ති රණසිංහ හෙවත් ශෂී වීරවංශ මහත්මියට එරෙහිව නඩු පවරනු ලැබුවේ 2015 වසරේදීයි.

ඊට අදාළ නඩුව වසර 07 ක් පුරාවට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනුණු අතර නඩු විභාගය අවසන් කෙරුණේ පසුගිය පෙබරවාරි 11 වැනිදායි.

නඩු විභාගයට අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අවස්ථා දෙකකදීම කල් තැබුණු අතර පූර්වගාමී මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා විසින් අද එහි තීන්දුව ප්‍රකාශයට පත් කළා.

මහේස්ත්‍රාත් නිල මැදිරිය තුළදී තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වූවා.

“දේශපාලනඥයෙකුගේ බිරිඳක් වශයෙන් විත්තිකාරිය සිය නිල බලය සහ තනතුරු බලය භාවිත කරමින් සිදුකර තිබෙන මෙම ක්‍රියාව අනුමත කරන්න බැහැ. විත්තිකාරිය මෙම රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා අයදුම්පත ඉදිරිපත් කර තිබෙන්නේ එක් දින සේවය යටතේ. නමුත් එය ලබා ගැනීම සඳහා ඇය අදාළ කවුළුව වෙත පවා ඉදිරිපත් වී නැහැ. ඇය මෙම ගමන් බලපත්‍රය ලබාගෙන තිබෙන්නේ රාජ්‍ය නිලධාරීන්ගෙන් සහාය ඇතිව, කෙටි මාර්ගයකින්.”

අමාත්‍යවරයකුගේ බිරිඳක් වශයෙන් නිල හා තනතුරු බලය භාවිත කරමින් මෙම නීති විරෝධී ක්‍රියාව සිදුකර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් සමාජයට ආදර්ශයක් විය හැකි තීන්දුවක් ලබාදෙන ලෙසයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

කෙසේ වෙතත්, නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා ඉදිරිපත් කළ කරුණු ප්‍රතික්ෂේප කරන බව විත්තිකාර ශෂී වීරවංශ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු අධිකරණය හමුවේ සඳහන් කළා.

විත්තිකාරිය සන්තකයේ තිබූ ගමන් බලපත්‍රය අවිධිමත් එකක් නොවන බවට ආගමන සහ විගමන පාලකවරයා පවා නඩු විභාගයේදි සාක්ෂි දෙමින් පිළිගෙන තිබූ බවයි ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ. විත්තිකාරිය, අවිවාහක දරුවන් දෙදෙනෙකුගේ මවක බවත් ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගෙන ලිහිල් අයුරින් කටයුතු කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ පූර්වගාමී මහෙස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා අනතුරුව නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළා.

මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ, අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත් බවට විත්තිකාරියට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බැවින් ඇය අදාළ චෝදනාවට වරදකාරිය කරන බවට තීන්දු කරන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: