hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 අප්‍රේල් 26, පෙ.ව. 10:41



මැල්කම් රංජිත් කාදිනල් වහන්සේ ඇතුළු 60 කට ආසන්න කතෝලික බැතිමතුන් පිරිසක් මේ වන විට සිටින්නේ වතිකානුවේ.

ඒ පාප් වහන්සේගේ ආරාධනාවකට අනුව.

දූත පිරිස

කාදිනල් තුමන් සමග එසේ ගිය පිරිස අතර සිටින්නේ 2019 අප්‍රේල් 21 දින එල්ල වූ පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් පවුල්වල සමාජිකයින්.

ඊයේ (25) මේ පිරිස පාප් වහන්සේ විසින් සිදුකළ විශේෂ දේව මෙහෙයකට සහභාගී වුණා.

එහි දී පාප් වහන්සේ විසින් මීට වසර තුනකට පෙර එල්ල වූ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් පණිවිඩයක් ශ්‍රී ලංකා රජයේ ප්‍රධානීන් වෙත ලබා දී තිබෙනවා.

පාප් වහන්සේගේ ඉල්ලීම

ඒ පාස්කු ඉරු දින ප්‍රහාරය පිටුපස ඇති සත්‍යය හෙළි කරණ ලෙසට.

ඉන් මෙම ප්‍රහාරයෙන් පීඩාවට පත් ජනතාවගේ මෙන්ම ශ්‍රී ලාංකික ජනතාවගේ මනසට සහනයක් ලැබෙනු ඇති බවයි උන් වහන්සේ පෙන්වා දෙන්නේ.

මැල්කම් රංජිත් කාදිනල්තුමන්ද කලක පටන්ම වත්මන් රජයේ බලධරයන්ගෙන් ඉල්ලා සිටින්නේත් පාප් වහන්සේ කළ ඉල්ලීමමයි.

ඒ පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍යය හෙළිදරව් කරන ලෙසට.

ඊයේ (25) වතිකානුවේ පැවති විශේෂ දේව මෙහෙයට ශ්‍රී ලාංකික දූත පිරිසට අමතරව ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික කතෝලිකයින් 3500 ක් පමණ සහභාගි වී ඇති බවද වාර්තා වනවා.