hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 මැයි 15, ප.ව. 9:03



පසුගිය 9 වනදා කොල්ලුපිටිය සහ ගාලු මුවදොර ඇතිවූ නොසන්සුන්කාරී තත්වයෙන් පසු දිවයින පුරා ඇතිවූ කළහකාරී සහ ප්‍රචන්ඩ ක්‍රියා සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 231 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිට්ටඹුව නගරයේ පසුගිය 9 වනදා ඇතිවූ නොසන්සුන්තාවට සහ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව හතරදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිට්ටඹුව පොලිසිය විසින් මෙම සැකකරුවන් අද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරුවන් අතර දෙදෙනෙකු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා ඝාතනයට සම්බන්ධ බවට චෝදනා එල්ල වී සිටින අතර, ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වැඩිදුර විමර්ශන සඳහා භාරදීමට නියමිතයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් නිට්ටඹුව සහ අම්පාර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර මන්ත්‍රීවරුන්ගේ නිවෙස්වලට පහර දී අලාභ හානි සිදු කිරීමේ චෝදනාව මත හිමිනමක් ඇතුළු සැකකරුවන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන මැයි මස 24 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

මේ අනුව හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, මහාචාර්ය චන්න ජයසුමන සහ අනුරාධපුරයේ ෂෙහාන් සේමසිංහ යන මහත්වරුන්ගේ නිවාසවලට හානි කළ පිරිස් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කීර්ති ශ්‍රී මහතා ප්‍රකාශ කළේ, අද (15) දින අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය කළ බවයි.

මේ අතර අරලියගහ මන්දිරය ඉදිරිපිට ඇතිවූ ප්‍රචන්ඩකාරී ක්‍රියාවලට සම්බන්ධ බවට සාක්ෂිවලින් අනාවරණ වූ පුද්ගලයෙකු ද මොරටුව – මොරටුවැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔහු මොරටුව මහ නගර සභාවේ සේවය කරන 49 හැවිරිදි අයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ.

එමෙන්ම ඉමදූව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නිවසට පහරදීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් හතරදෙනා මේ මස 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද පියවර ගෙන තිබුණේ.

මේ අතර අරගලයේ යෙදෙන මුවාවෙන් ගාලු මුවදොර ප්‍රදේශයට ගොස් එහි නතර කර තිබූ යතුරුපැදි සොරකම් කළ මතුගම පොඩ්ඩා නැමැත්තා පොලිසිය අද මොරටුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැලිපැන්න – මතුගම ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි සැකකරුවෙකු වන මොහු මත්ද්‍රව්‍ය පානය කිරීම සඳහා මෙලෙස යතුරුපැදි සොරකම් කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී සොරකම් කරන ලද යතුරුපැදි සහ අමතර කොටස් ද සොයාගෙන තිබෙනවා.