hit counter

2024 දෙසැම්‍බර් මස 20 වන සිකුරාදා

2022 දෙසැම්‍බර් 24, ප.ව. 2:37



එප්පාවල -කිරලෝගම, ගැටදිවුල ප්‍රදේශයේදී අතුරුදන් වූ, නව හැවිරිදි පිරිමි දරුවා රිකිල්ලගස්කඩ – ජෝන්ස්ලන් වතුයායේ නිවසක සිටියදී එප්පාවල පොලිසියේ විශේෂ කණ්ඩායමක් විසින් සොයාගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා කියා සිටියේ මෙම දරුවා ළගින් ඇසුරුකළ විදුලි කාර්මික ශිල්පියාගේ මිතුරෙකුගේ නිවසක සිටියදී මෙලෙස සොයාගත් බවයි.

පසුව අදාළ විදුලි කාර්මිකයාද එහි සිටියදී පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර, දරුවාද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අදාළ සිසුවා පසුගිය 19 වනදා රාත්‍රියේ සිට අතුරුදන්වූ බවට මව විසින් පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුවයි විමර්ශන කටයුතු සිදු කෙරුණේ.

මේ වනවිට සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මෙම දරුවා පැවිදි කිරීම සඳහා මව සූදානම් වීම හේතුවෙන් ඔහු නිවසින් පිටව ගොස් ඇති බවටයි.

අදාළ විදුලි කාර්මිකයා මෙම දරුවාට මහත්සේ ආදරය කර ඇති බවත්, ඔහු නිවස බලා ත්‍රිරෝද රථයකින් යමින් සිටියදී මෙම දරුවාද බලෙන්ම අදාළ ත්‍රිරෝද රථයට ගොඩවී තිබෙනවා.

පසුව මෙම විදුලි කාර්මිකයා දරුවා ඔහුගේ මිතුරෙකුගේ නිවසකට රැගෙන විත් ඇත්තේ දරුවාගේ කැමැත්ත අනුවයි.

කෙසේ වෙතත් දරුවාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු සඳහන් කර ඇත්තේ සිය පියා යුද හමුදාවේ සේවය කරන බවත්, පියා නිවාඩු ලබා නිවසට පැමිණීමෙන් පසු තමන් මහණ කරන බවට මව ප්‍රකාශ කළ බවයි.

ඒ නිසා ඇතිවූ බියෙන් තමන් මෙම පුද්ගලයා සමඟ ගිය බවද එම දරුවා පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත් ඔහු යළි නිවසට පැමිණීමටද අකමැති බව සඳහන් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බවයි උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.