hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 දෙසැම්‍බර් 09, ප.ව. 5:49



අයහපත් කාලගුණික තත්වය සමඟ සීතල දරාගැනී‍මට නොහැකිව කිලිනොච්චිය  ප්‍රදේශයේ ගොවීන්ගේ කිරි ගවයින් 165 ක් සහ එළුවන් 07 දෙනෙකු පමණ අද (09) වන විට මියගොස් ඇතැයි කිලිනොච්චිය ප්‍රදේශවාසීන් පවසනවා.

කිලිනොච්චිය කරච්චි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පොන්නගර් ප්‍රදේශයේ කිරිගවයින් සහ එළුවන් ප්‍රදේශයේ ගවමඩු තුල මෙන්ම මාර්ගයන්හි සිටියදී එලෙස සීතල දරාගැනීමට නොහැකිව කුඩා පැටවුන් සහ දෙනුන් මියගොස් ඇති බව හිමිකරුවන් පවසා සිටිනවා.

අධික සීතල හේතුවෙන් අසනීප වී ඇති ගවයින් බේරා ගැනීම සඳහා හිමිකරුවන් මාර්ගවල, ගවමඩුවල සහ තැන තැන විශාල ගිනි සෑයවල් නිර්මාණය කරමින් ගවයින්ට උණුසුම ලාබාදීමට කටයුතු කරමින් සිටිනවා.

අයහපත් කාලගුණික තත්වය සමඟ ඇතිවූ ශීත කාලගුණික තත්වය හේතුවෙන් දින දෙකක කාලයක් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක 17 දක්වා අඩුවී තිබූ බවද කිලිනොච්චිය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවා.

කෙසේ වෙතත් පවතින අධික සීතල තත්වය ඉදිරි දින කිහිපය තුලදීද පැවතියහොත් මිය යන සතුන් ප්‍රමාණය මීට වඩා වැඩිවිය හැකි බවටත් ගවයින් එළුවන් ඇතුලු සතුන් හැකි අයුරින් උණුසුම් ස්ථානවල රඳවන ලෙසටද කිලිනොච්චිය ආපදා කලමනාකරන කාර්යාලය දැනුම් දී තිබෙනවා.

සතුන් මියයෑමෙන් තමන්ට විශාල ආර්ථික බලපෑමක් සිදුව ඇති බවත්  මියගිය සතුන් පිළිබඳව හා සීතල හේතුවෙන් අසනීප වී ඇති සතුන් සම්බන්ධයෙන් කිලිනොච්චිය රජයේ පශුවෛද්‍ය කාර්යාලය දැනුවත් කොට ඇති බවද හිමිකරුවන් වැඩිදුරටත් පැවසුවා.