hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 නොවැම්‍බර් 06, ප.ව. 2:34



ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවරදී අත්අඩංගුවට පත් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එමගින් එම ආයතනය සඳහන් කර ඇත්තේ, ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් වන සිද්ධිය පිළිබඳව තම ආයතනය තහවුරු කරන බවත් ඔහු හෙට (07) අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත බවයි.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ද උපදෙස් ඇතිව එම අධිකරණය ක්‍රියාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සමීපව නිරීක්ෂණය කරනු ලබන බව එහි තවදුරටත් දැක්වෙනවා.

එමෙන් ම, තම ආයතනය අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදු කරන බව ත් එමගින් ධනුෂ්ක ගුණතිලක වරදකරු වුවහොත් ඔහුට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක (31) ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවරදී අත්අඩංගුවට ගෙන තිබුණේ අද (06) අලුයම් කාලයේදීයි.

සිඩ්නිහි නැගෙනහිර ප්‍රදේශයේදී සිදු වූ බව කියන ලිංගික අතවරයක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.