hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 අප්‍රේල් 27, ප.ව. 4:00



මියන්මාරය හිටපු නායිකාව වන අවුන් සාන් සු කී (AUNG SAN SUU KE) මහත්මියට හමුදා පාලනය යටතේ ඇති අධිකරණයෙන් තවත් වසර 5 ක සිර දඬුවමක් නියම කොට තිබෙනවා.

ඒ මේ වන විට ඇයට නියම කොට වසර 6ක සිර දඬුවමට අමතරව.

වසර 11 ක සිර දඬුවම

ඒ අනුව 76 හැවිරිදි වියේ සු කී මහත්මියට විවිධ චෝදනා මත වසර 11 ක සිර දඬුවම් නියම වී තිබෙනවා.

මෙවර ඇයට වරදකරු කර තිබෙන්නේ ඇමරිකානු ඩොලර් ලක්ෂ 6ක (රු. ලක්ෂ 2100) අල්ලසක් ගත් බවට චෝදනා කරමින්.

එම අල්ලස ගෙන තිබෙන්නේ මියන්මාරයේ විශාලතම නගරය හා පළාත වන යැන්ගුන්හී හිටපු ප්‍රධානියාගෙන් බවත් එය මුදල් හා රත්තරන් වශයෙන් ගත් බවටයි චෝදනා ගොනු කර තිබෙන්නේ.

චෝදනා ප්‍රතික්ෂේප කිරීම

ඒ චෝදනා සු කී මහත්මිය ප්‍රතික්ෂේප කොට තිබෙන අතර මූලික අයිතීන් පිළිබඳ සංවිධාන ඒ සම්බන්ධයෙන් වූ නඩු විභාගය හා තීන්දුව ලැජ්ජා සහගත එකක් බව පවසමින් ප්‍රතික්ෂේප කොට තිබෙනවා.

අදාල නඩු විභාගය මහජනතාවට හා මාධ්‍යයට තහනම් වූ අතර සු කී මහත්මියගේ නීතිඥවරුන්ට මාධ්‍යයට අදහස් දැක්වීමද වැලැක්වීමට හමුදා පාලනය පියවර ගෙන තිබෙනවා.

2021 පෙබරවාරි මස මියන්මාර හමුදාව ඇයව බලයෙන් පහ කළ දින සිට මේ වන තුරු සු කී මහත්මිය සිටින්නේ නිවාස අඩස්සියේ.

තවත් චෝදනා දහයක්

මීට පෙර ඇයට දඬුවම් නියම කළේ අපරාධ චෝදනා මත වන අතර ඊට ඡන්ද දූෂණයද ඇතුළත්.

සු කී මහත්මියට එරෙහිව තවත් වංචා හා දූෂණ චෝදනා 10 ක් එල්ල කොට තිබෙන අතර ඒ එක චෝදනාවකට වසර 15 ක උපරිම සිර දඬුවමක් නියම කිරීමට පුළුවන්.

ඒ අනුව ඇයට වසර 190 ක පමණ කාලයක සිර දඬුවම් ලැබෙනු ඇති බවට ඇස්තමේන්තු කර තිබෙනවා.