hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 ජූනි 06, ප.ව. 12:38



දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට අද (06) එළවළු ලැබීම මෙන්ම එළවළු මිලදී ගැනීම සඳහා වෙළෙන්දන්ගේ පැමිණීම සියයට 80කින් පමණ අඩු වීම හේතුවෙන් ආර්ථික මධ්‍යස්ථානය තුළ එළවළු මිල සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බව ව්‍යාපාරිකයෝ පෙන්වා දෙනවා.

ඉහළ ගිය එළවළු අතර තක්කාලි කිලෝවක් රුපියල් 600ක්, බෝංචි 550ක්, වැටකොළු,වම්බටු ,කරවිල ආදී එළවලු කිලෝවක් රුපියල් 300ක මිලකට අලෙවි වීම ආර්ථික මධ්‍යස්ථානයේ සුවිශේෂී වූ කාරණයක් බව එහි වෙළෙන්දන් පෙන්වා දෙනවා.

ඉන්ධන නොමැති වීම, තෙල් පොහොර නොමැති වීම, එළවළු වගාවෙන් ගොවීන් විශාල වශයෙන් ඈත්ව සිටීම යන කරුණු කාරණා රැසක් නිසාවෙන් ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය මේ ආකාරයෙන් දවසින් දවස අඩුවෙමින් පවතින බව වෙළෙන්දන් මෙන් ම ගොවීන් ද පෙන්වා දෙනවා.

කන්ද උඩරට ප්‍රදේශය වලින් ලැබෙන කැරට් ,බීට්, ගෝවා වැනි එළවළු යම් මට්ටමකින් ආර්ථික මධ්‍යස්ථානයට මෙදින ලැබී තිබෙනවා.

එහෙත් ලැබී ඇති සීමිත එළවලු මිලදී ගැනීමට වෙළෙන්දන් මෙදින නොපැමිණ ඇත්තේ ඉන්ධන හිගය සහ මිල අධික වීම නිසාවෙන් බව ගොවින් කියයි.

දඹුල්ල – කාංචන කුමාර ආරියදාස