hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 දෙසැම්‍බර් 21, පෙ.ව. 11:16



2022 පාපන්දු ලෝක කුසලානය දිනා ගත් ආර්ජන්ටිනා කණ්ඩායමේ නායක ලියනෝල් මෙසී ඉන්ස්ටග්‍රෑම්හි පළ කළ ඡායාරූපයක් මේ වන විට ලෝක වාර්තාවක් තබා තිබෙනවා.

එම ඡායාරූපයේ දැක්වෙන්නේ,මෙසී පාපන්දු ලෝක කුසලානය ඔසවාගෙන සිටින ආකාරයයි. 

ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍යයෙහි වඩාත්ම කැමැත්ත (ලයික්) හිමිකරගත් ඡායාරූපය බවට මෙසීගේ මෙම ඡායාරූපය පත්වී තිබෙනවා.

එය පළ කර ඇත්තේ පසුගිය 19 වැනිදායි.

මීට වසර 4 කට ආසන්න කාළයක් එම වාර්තාව හිමිකරගෙන සිටි ‘The egg’ (බිත්තරයේ) ඡායාරූපය දින දෙකක් තුළදී අබිබවමින් වීම විශේෂත්වයක්.

මෙසී පසුගියදා (18) ලෝක කුසලාන ජයග්‍රහණයෙන් අනතුරුව ලෝක කුසලානය ඔසවාගෙන සිටින ආකාරය දැක්වෙන මෙම ඡායාරූපය මෙසීගේ නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පළකොට තිබුණා.

මෙම ඡායාරූපයට ඊයේ මධ්‍යම රාත්‍රී වන විට ලැබී තිබූ ලයික් ප්‍රමාණය මිලියන 65 ඉක්මවා තිබුණා.

මේ අතර මෙම ඡායාරූපය විසින් අබිබවූ මීට පෙර‌ වැඩිම ලයික් සංඛ්‍යාවක වාර්තාවේ ඡායාරූපය තනි බිත්තරයක ඡායාරූපයක් වීම විශේෂත්වයක්.

නිදහස් ඡායාරූප ශිල්පියෙකු වන සර්ජෙ ප්ලැටොනොව් විසින් 2015 වර්ෂයේදී අන්තර්ජාලයේ ප්‍රසිද්ධ ලද මෙම ඡායාරූපය, 2019 වර්ෂයේ ජනවාරි මසදී ඉන්ස්ටග්‍රෑම් වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධ කොට තිබුනේ මානසික සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීමේ අරමුණිනි‍න්.

එහිදී මෙම ඡායාරූපය ‘ලොව වැඩිම ලයික් සංඛ්‍යාවක් සහිත ඡායාරූපය කරමු’ ‌යන තේමාව යටතේ ප්‍රසිද්ධ කෙරුණු අතර එය දින කිහිපයක් තුළ ලොව වැඩිම ලයික් සහිත ඡායාරූපය බවට පත්විය. මේ වනවිට ඒම ඡායාරූපය සතු ලයික් ප්‍රමාණය මිලියන 57 කට අධිකයි.