hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 අප්‍රේල් 27, පෙ.ව. 8:27



මෙරට මීටර් 400 කාන්තා කඩුලු පැනීමේ ශූරිය වූ කෞශල්‍යා මධුශානි හදිසියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

25 හැවිරිදි ඇය දුම්මලසූරිය, තෝරබිත්තිය, පඩිවෙල පිහිටි සිය නිවසේදී ගෙළ වැළලාගෙන දිවි හානි කරගෙන ඇති බවයි පොලීසිය සදහන් කළේ.

කුලියාපිටිය මධ්‍යම මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඇය ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් ජාතික තලයේ මළල ක්‍රීඩා ක්ෂේත්‍රයට පිවිසුණා.

පසුගිය දා පැවති 100 වන ජාතික මළල ක්‍රීඩා ශූරතාවලියේදී කෞශල්‍යා මධුශානි කාන්තා මීටර් 400 කඩුළු පැනීමේ ඉසව්ව ජයග්‍රහණය කළේ තත්ත්පර 58.73ක කාලයක් සටහන් කරමින්.

දුම්මලසූරිය පඩිවෙල ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවස තුළ ගෙල වැළලා සියදිවි නසාගත් කෞශල්‍යා ඊට ප්‍රථම ලිපියක් ද ලියා තබා ඇති බවයි පැවසෙන්නේ.

කෞශල්‍යා මධුශානිගේ වැඩිමහල් සොයුරිය ප්‍රියංගනී සුසීමා සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස අදහස් දක්වා සිටියා,

මියගොස් ඇත්තේ මාගේ බාලම නංගි.. ඇය ජීවත් වුණේ අම්මත් එක්ක වෙනම නිවසක. ඇය ශ්‍රී ලංකා යුදහමුදා ක්‍රීඩා සංචිතයේ ලාන්ස් කෝප්‍රල්වරියක ලෙස පනාගොඩ කඳවුරේ සේවය කරමින් සිටියා. ඇය දියගම පැවති ක්‍රීඩා තරගයකට සහභාගි වෙන්න 23 වැනිදා ගියා. සවස 5ට පමණ ඇගේ යෙහෙළියක් සමගින් යළිත් නිවසට ආවා. පසුදින (24) උදේ ඇගේ යෙහෙළිය පිටත්වෙලා ගියා.මම අපේ නිවසේ සිට නංගීට උදේට කන්න එන්න කියන්න නංගිගේ නිවසට ගියා… ඒ වෙලාවෙ උදේ 9ට පමණ ඇති. ඒත් එයා කිව්වා දැන්ම කන්න බැහැ කියලා කිව්වා.

මා ආපසු මගේ නිවසට පැමිණ මද වේලාවකට පසුව නංගිගේ තවත් යෙහෙළියක් ඇගේ මංගල උත්සවේට නංගිට ආරාධනා කරන්න අපේ නිවසට ආව නිසා යළිත් මම නංගිගේ නිවසට යෙහෙළිය සමගින් ගියා. ඒ වෙනකොට වෙලාව උදේ 10යි. අපේ නිවසට යාව පිහිටි නංගීගේ නිවසේ ඒ යන විට ජනෙල් දොරවල් වසා අගුලූ දමා තිබුණෙ. මම නංගිට කථා කළා. දොරට ගැසුවත් ප්‍රතිචාර නොදැක්වූ නිසා මම හිතුවෙ තරගයට සහභාගී වෙච්චි මහන්සියට නංගි නිදි කියලා. ඊට පස්සෙ මම නංගිගෙ නිදන කාමරයේ ජනේලයට ගැහුවා. තදින් පහරදෙනකොට එක් ජනෙල් පියනක් ඇරුණා. එතකෙට මම දැක්කෙ නංගි ඇඳ අසල දණ ගහගෙන ඉන්නවා වගෙ. 

නංගී සුරතලයට ඇති කරන බලූපැටවාඑ ඒ අසල සිට නංගීගේ මුහුණ ලෙවකමින් සිටියා. ඒ එක්කමඑ මම දැක්කා නංගිගෙ බෙල්ල ප්‍රදේශයෙන් ලණුවක් වැනි යමක්. මම හයියෙන් කෑගැසුවා. ඒ හඬඑ ඇසුන මාගේ සැමියත් අසල නිවෙස්වල අයත් දිව ආවා. සැමියා පිටුපස දොරගුලූ කඩා නංගීගේ කාමරයට ඇතුළු වී ලණුව කපා සිහිසුන්ව සිටි නංගිව කඩිනමින් කුලියාපිටිය ශික්‍ෂණ රෝහලට ඇතුළු කළා. ඇය මියගොස් සිටි බව අපිට වාර්තා වුණා. කුමන හේතුවකට නංගී එවන් දෙයක් කළා ද කියන්න හිතාගන්න බැහැ.”