hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2022 ජූලි 02, ප.ව. 7:26



ඉකුත් 27 වැනිදා අකුරැස්ස පොලිස් වසමේ තිබ්බොටුවාව ප්‍රදේශයෙන් වාර්තා වූයේද එවන් ඇඟ පොලා යන අමානුෂික ඝාතනයක්.

ඝාතනයට ලක්වූ පුද්ගලයා වයස අවුරුදු 72ක වයෝවෘද්ධ අයෙක්.

මෙම වයෝවෘද්ධ පුද්ගලයාගේ ගෙල කඩුවකින් වෙන් වෙන්නම කපා ඔහුගේ හිස කොටස රැගෙන ගොස් කිඹුලන්ගෙන් ගහන නිල්වලා ගඟට දැමීමට තරම් සාහසික වී තිබෙනවා.

මෙම සිද්ධිය අකුරැස්ස පොලිසියට වාර්තා වූයේ ඉකුත් 27 වැනිදා උදේ 11.00ට පමණ.

ඒ 119 හදිසි ඇමතුම් අංශය විසින් ලබාදුන් දුරකථන ඇමතුමක් මතයි.

ඒ අනුව අකුරැස්ස පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් මිනිස් ඝාතනය සිදු වූ බව කියන තිබ්බොටුවාව, තලගස්ස රවුම් පාර කලුගමහේන ප්‍රදේශයේ නිවෙසට ගොස් තිබෙනවා.

නිලධාරීන් පැමිණ විමර්ශන ආරම්භ කරන ලද අතර එහිදී අනාවරණය වූයේ මියගිය පුද්ගලයා කලක් දේවාල කපුවකු ලෙස ගොඩපිටිය විහාරස්ථානයේ සේවය කර ඇති බවයි.

පසුව ඔහු දැඩි ලෙස රෝගාතුර වී ඇති අතර රෝගය උත්සන්න වීමෙන් ඔහුගේ එක් පාදයක් කපා ඉවත් කර තිබෙනවා.

ඉන් අනතුරුව ඔහු පසුගිය කාලයේ නිවෙසේ සිටම ගුරුකම්, ශාස්ත්‍ර කීම් ඇතුළු යන්ත්‍ර මන්ත්‍ර වැඩ කරමින් ජීවිකාව කරගෙන ගොස් තිබෙනවා.

මේ නිසා ගමේ බොහෝ අය ඔහු සාස්තර අයියා ලෙසද හඳුන්වා තිබෙනවා.

කෙසේ වෙතත් ඝාතකයා මරා දැමුණු සුමනපාල යකැදුරාගේ හිස කොටස රැගෙන යෑමට තරම් දරුණු වූයේ මන්දැයි විමර්ශන නිලධාරීන්ට මහත් ප්‍රශ්නයක් ගෙන දී තිබෙනවා.

නිවෙස පුරා විසිරී තිබූ රුධිර සලකුණු ඔස්සේ සහකාර පොලිස් අධිකාරිවරයා ඇතුළු කණ්ඩායම ඉදිරියටම ගිය අතර එම ලේ සලකුණු නිල්වලා ගඟ අසලින් නතර වී තිබෙනවා.

එතැනින් එහාට ලේ සලකුණු කිසිවක් දක්නට නැහැ.

සහකාර පොලිස් අධිකාරිවරයා කීවේ කඳෙන් වෙන් කරන ලද හිස රැගෙන ගිය මාර්ගය දිගේ එම ලේ බිඳු වැටෙන්නට ඇති බවත් නිල්වලා ගඟ අසලින් එම ලේ බිඳු නතර වී ඇත්තේ මරා දැමුණු පුද්ගලයාගේ හිස නිල්වලා ගඟට දමන්නට ඇති නිසාත් බවයි.

හිස කොටස ගඟට වැටුණු ප්‍රදේශය මිනී කන කිඹුලන්ගෙන් ගහන බවද වාර්තා වෙනවා.

නිවෙසේ සිට ගඟට ඇත්තේ මීටර් 350ක පමණ දුරකිනි.

කෙසේ වෙතත් විමර්ශනයේදී සුමනපාල කට්ටඩියා සිද්ධියට පෙර දින රාත්‍රියේ ඒ අවට නිවෙසක තොවිලයකට සහභාගි ඇති බවටද තොරතුරු ලැබි තිබෙනවා.

ඒ අනුව ඉකුත් 26 වැනිදා රාත්‍රියේ සැකකාර තරුණයාගේ වත්තේ පිහිටි ඔහුගේ මිත්තණියකගේ සොහොනක් මත කිසියම් යන්ත්‍ර මන්ත්‍ර වැඩක් සිදු කිරීම නිසා ඊට උරණ වූ සැකකරු සුමනපාල ඝාතනය කර ඇති බවටත් පොලිසියට තොරතුරු ලැබි තිබෙනවා.

ඒ අවස්ථාවේ ඔහු සිය මව සහ පියා සමඟ නිවෙස් සිට ඇති අතර බල්ලන් බුරන ශබ්දය ඇසී ඔහුගේ මව නිවෙසේ ‍දොර විවර කර බලද්දී කිසියම් පුද්ගලයකු වත්ත පහළ සොහොන අසල සිට දිවයනු අයුරු ඇය දැක තිබෙනවා.

ඒ සමඟම ඇගේත් ඇගේ පුතාගේත් සැකය එල්ල වූයේ කට්ටඩියකු වූ සුමනපාල වෙත බවයි වාර්තා වන්නේ.

සුමනපාල සහ සැකකරුගේ පාර්ශ්වය අතර ආරවුලක් තිබි තිබෙනවා.

ඒ නිසා සුමනපාල තම පවුල විනාශ කිරීම සඳහා කොඩිවිනයක් කරන්නට ඇතැයි සැකකරුගේ පාර්ශ්වය සැක පළ කර තිබෙනවා.

කෙසේ වෙතත් පසුදාට පහන් වූයේ එවන් සැකසංකා සහ සුමනපාල කෙරෙහි ඇති වූ දැඩි කෝපය මතයි.

කේන්තියෙන් පසු වූ සුරංගට අවශ්‍ය වූයේ සුමනපාල කට්ටඩියාට හොඳ පාඩමක් ඉගැන්වීමටයි.

ඔහු නිවෙස් තිබූ තියුණු කඩුව අතට ගත්තේ ඒ නිසාය.

මාරාවේෂයකු ලෙස කඩුවද අතට ගත් ඔහු සුමනපාලගේ නිවෙස වෙත දිවයද්දී ඔහු වළකාලන්නට මවුපියන් ගත් උත්සාහය සාර්ථක වී නැහැ.