hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2022 මැයි 12, පෙ.ව. 9:49



බදුල්ල නගරයේදී පසුගියදා සිදුවූ යතුරුපැදි සොරකම් වලට අදාලව අත්අඩංගුවට ගත් පුද්ගලයින් තිදෙනා දින 14ක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස බදුල්ල මහේස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහතා නියෝග කළා.

පසුගියදා බදුල්ල දකුණු පටු මාවතේ වෙළදසැලකට පැමිණි පුද්ගලයෙකුගේ සහ එම්.ඩී.සුගතදාස මාවතේ පිහිටි සිනෙල්මා සිනමා ශාලාවේ චිත්‍රපටියක් බැලීමට පැමිණි පුද්ගලයෙකුගේද යතුරුපැදි මෙසේ සොරකම් කර තිබුණා.

යතුරු පැදි සොරකම් කරන ලද ස්ථාන අසල වෙළදසැල්වල තිබුණු සිසිටීවී කැමරා දර්ශන ඔස්සේ යමින් මෙම පුද්ගලයින් සමගින් යතුරු පැදි දෙකක් සොයාගත් බව බදුල්ල පොලීසියේ අපරාධ විමර්ෂණ අංශයේ ස්ථානාධිපති ගීත් රත්නායක මහතා පැවසුවා.

ඉන් එක් යතුරුපැදියක් බදුල්ල විනීතගම වේවැස්සගම ප්‍රදේශයෙන් ද හාලිඇල, උඩුවර රොකතැන්න වත්තෙන් අනෙක් යතුරුපැදිය හමුව තිබෙනවා.

ඉන් එක් යතුරු පැදියක කොටස් ගලවා එහි වර්ණයද වෙනස්කර තිබුණු බවත් තවත් යතුරු පැදිවල කොටස්ද හමුවූ බවත් පොලීසිය සඳහන් කළා.

ඉතා අධික වටිනාකමකින් යුත් යතුරුපැදි මෙම පුද්ගලයින් විසින් සොරාගෙන ගොස් කොටස් ගලවා විකිණීමේ ජාවාරමක නිරතවන බවයි මූලික පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත්තේ.

සිද්ධියට සම්බන්ධ බදුල්ල විනීතම ප්‍රදේශයේ වයස අවරුදු 24 සහ 42 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙක් සහ උඩුවර රොකතැන්න ප්‍රදේශයේ 28 හැවිරිදි පුද්ගලයෙක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් තිදෙනා දින 14ක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

වැඩිදුර විමර්ශන බදුල්ල පොලීසිය විසින් සිදු කරනවා.

බදුල්ල – ජයලත් දිසානායක