hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2022 මැයි 05, පෙ.ව. 10:31



පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි මහතාගේ (මුස්ලිම් කොන්ග්‍රසය)රථයේ ගැටීමෙන් පුද්ගලයෙකු මිය ගොස් ඇති බව නොරචෝලේ පොලීසිය පැවසුවා.

මෙම අනතුර සිදුවී ඇත්තේ ඊ‍යේ (04) රාත්‍රී 8.10 ට පමණ පාලාවිය – කල්පිටිය මාර්ගයේ මාම්පූරිය ප්‍රදේශයේදීයි.

අනතුරින් මිය ගොස් ඇත්තේ පුත්තලම – මනතිව් පදිංචිව සිටි සිමියොන් බෙනඩික් ඩික්සන් (අවු:46) නම් අයෙක්.

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි මහතා රැගත් මෝටර් රථය කල්පිටියේ සිට පුත්තලම දෙසට ධාවනය වෙමින් තිබී ඇති අතර එම අවස්ථාවේදී මාර්ගය හරහා ගමන් කරමින් සිටි අයෙකු මෝටර් රථයේ ගැටීමෙන් තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූ පුද්ගලයා ත්‍රී රෝද රථයකින් පුත්තලම මූලික රෝහල කරා රැගෙන යමින් සිටින විට අතරමගදී මිය ගොස් තිබෙනවා.

අනතුර සිදුවන විට මන්ත්‍රීවරයා ගමන් කළ වාහනය අධික වේගයෙන් ධාවනය වී ඇති බව පොලීසිය සදහන් කළා.

එම රථයේ රියදුරුගේ නොසැලකිල්ල අනතුරට හේතුව බව විමර්ශණ වලදී අනාවරණය වී තිබෙනවා.

අනතුර සිදුවී ඇත්තේ නොරචෝලේ පොලිස් වසමේ වුවත් වර්තමානයේ පවතින තත්ත්වය අනුව විමර්ශණ කටයුතු පුත්තලම පොලීසියට බාර දීමට කොට්ඨාස බාර ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා කටයුතු කර තිබෙනවා.

ඒ අනුව මන්ත්‍රීවරයා ගමන් කළ වාහනය තම බාරයට ගෙන එය පැදවූ රියදුරුව අත්අඩංගුවට ගැනීමට පුත්තලම පොලීසිය කටයුතු කර තිබෙනවා.

පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.