hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2022 ඔක්‍තෝබර් 23, පෙ.ව. 7:52



මහනුවර, සුදුහුම්පොළ ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබාගත් රෝගීන් කිහිප දෙනකු හට විවිධ අසාත්මිකතා හා රෝගී තත්වයන්  ඇතිවීම හේතුවෙන් ඒ පිළිබඳව වෛද්‍ය ප්‍රතිකාර ඒකකයට පැමිණ පැමිණිලි කොට තිබෙනවා.

රෝගීන් කිහිප දෙනෙක් පසුගියදා මෙම ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකයෙන් ප්‍රතිකාර ලබා ගත් අවස්ථාවේ ලබාදුන් බෙහෙත් පෙති භාවිතා කිරීමෙන් අනතුරුව එම රෝගීන් හට වමනය යාම, කලන්තය, කැරකිල්ල, වෙව්ලිල්ල හා හිසේ කැක්කුම ඇතිවූ බව එම රෝගීහූ පවසයි.

එම අසාත්මිකතාවයණට ගොදුරු වූ රෝගීන් ඊයේ (22) දින එම ස්ථානයට පැමිණ සඳහන් කළේ මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් තමන්ට  ලබාදී ඇත්තේ කල් ඉකුත් වූ ප්‍රමිතියෙන් තොර බෙහෙත් පෙති බවයි.

ලබා දුන් බෙහෙත් පෙති ඇල්ලූ සැනින් කුඩු වී යන බවද ඇතැම් බෙහෙත් පෙති වලින් යම් දුගඳක් හමන බවටද ඔවුහු චෝදනා කළා.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී  ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඖෂධ සංයෝජක නිලධාරිනිය සඳහන් කළේ මෙම ස්ථානයේ ඖෂධ ගබඩා කිරීම සඳහා නිසි ස්ථානයක් නොමැති බවත් මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ බොහෝ ස්ථාන වර්ෂාවට ඉතාමත් තදබල ආකාරයෙන් තෙමීමට ලක්වන බවත් මේ හේතුවෙන් ඇතැම්විට බෙහෙත් පෙතිවල ප්‍රමිතියේහි ගැටළුවක් ඇති වූවාදැයි යන්න කීමට නොහැකි බවත් බවත්ය.

තමා කල් ඉකුත් වූ ඖෂධ ලබාදෙන බවට කරන චෝදනාව ප්‍රතික්ෂේප කරන බව ද ඇය වැඩිදුරටත් කීවා.

මධ්‍යම පළාත් සෞඛ්ය දෙපාර්තමේන්තුව මගින් පාලනය වන මෙම ප්‍රතිකාර ඒකකය භාරව සිටින වෛද්‍යවරිය කියා සිටියේ අදාල රෝගීන් හට එම ඖෂධ පෙති නැවත ගෙනවිත් භාර දෙන ලෙස සඳහන් කළ බවයි.

මේ සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ දැනුවත් කළ බවද ඇය සඳහන් කළා.