hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2022 අප්‍රේල් 26, පෙ.ව. 6:33



මේ කාල වකවානුව රටේ දේශපාලන නායකයින් මෙන්ම දේශපාලන පක්ෂද අර්බුදකාරී තත්ත්වයකට මුහුණදී සිටින අවස්ථාවක්.

ඒ අර්බුදකාරී අවස්ථාවේ හිටපු ජනපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද මතභේදාත්මක ප්‍රකාශයක් සිදු කොට තිබෙනවා.

පක්ෂය ගොඩනැගීමේ වගකීම

ඒ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය යළි ගොඩනැගීමේ වගකීම බාර ගැනීම සම්බන්ධයෙන්.

යළි පක්ෂය ගොඩ නැගීමට තිබෙන බාධකයද ඇය පෙන්වා දෙනවා.

ඒ පක්ෂයේ වත්මන් සභාපති මෛත්‍රීපාල සිරිසේන හා ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර යන මහත්වරුන්.

හිටපු ජනපතිනිය සදහන් කරන්නේ ඒ දෙදෙනා පක්ෂයෙන් ඉවත් නොවන තුරු පක්ෂය හැදීමට බැරි බවයි.

ජාතික සංවිධායකගේ ආරාධනය

පක්ෂයේ සිටින ඒ හොරු ටික පක්ෂයෙන් ගියහොත් නැතිනම් පන්නා දැමුවවොත් තමා යළි පක්ෂය හැදීමේ වගකීම භාර ගන්නා බවයි ඇය අවධාරණය කරන්නේ.

ශ්‍රී.ල.නි.පයේ ජාතික සංවිධායකවරයා වන දුමින්ද දිසානායක මහතා හිටපු ජනපතිනියට යළි පක්ෂය සමග එකතු වන ලෙසට ප්‍රසිද්ධියේම ආරාධනා කළා.

ඊටද හිටපු ජනපතිනිය ප්‍රතිචාර දක්වනවා.

ඇය සඳහන් කරන්නේ තමාට අමුතුවෙන් ආයෙත් පක්ෂයට ඒමට දෙයක් නැති බවයි.

යාවජීව අනුශාසක

ඒ තමා පක්ෂයේ සාමාජිකයෙක් මෙන්ම පක්ෂයේ යාවජීව ජේෂ්ඨ අනුශාසක නිසා බව ඇය අනාවරණය කරනවා.

මෛත්‍රිපාල සිරිසේන මහතා තමාව ශ්‍රී.ල.නි.පයේ දේශපාලන මණ්ඩලයෙන් සහ අත්තනගල්ල ආසන සංවිධායක ධූරයෙන් පැන්නූ බවද හිටපු ජනපතිනිය මතක් කර දෙනවා.

යළි පක්ෂයට එන්න කියන පලියට පැමිණීමට තරම් විලි ලැජ්ජාවක් තමන්ට නැති බවද හිටපු ජනපතිනිය සදහන් කරනවා.

හිටපු ජනපතිනිය මේ අදහස් පළ කළේ මාධ්‍යවේදීන් ශ්‍රී.ල.නිපය යළි ගොඩ නැගීම හා පක්ෂයට යළි එකතුවීම සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.